සන්නිවේදනය ක්‍රියාවක් ද ? ක්‍රියාවලියක් ද ?
සන්නිවේදනය කියන්නේ මොකක්ද කියලා CAMS අපි පෙර ලිපියකින් කතා කළා. මෙම ප්‍රශ්නයට පූර්විකාවක් වශයෙන් මම සන්නිවේදනය කියන්නේ මොකක්ද කියලා සංක්ෂිප්තව මෙහෙම කියන්නම්.
සන්නිවේදනය කියන්නේ දෙපාර්ශවයක් අතර සිදුවන තොරතුරු
හුවමාරුවකට. එහෙමත් නැත්නම් තොරතුරු ගනුදෙනුවකට. මේ තොරතුරු ගනුදෙනුව ඇතුළේ ප්‍රධාන
වශයෙන් පාර්ශව තුනක් (03) ක් ඉන්නවා. ගොඩක් ගැඹුරින් කතා කරනකොට තවතව අංශ මේ සදහා
එකතු වෙනවා. ඒ ගැන අපි පසු ලිපියකින් කතා කරමු. අපි කතා කරපු ප්‍රධාන අංශ 3න තමයි සන්නිවේදකයා (Sender) පණිවිඩය (Message) ග්‍රාහකයා (Reciever) කියන්නේ. මෙන්න මේ අංශ ත්‍රිත්වය හරහා සන්නිවේදනය
සිදුවන විට එක් අවස්ථාවක එය සන්නිවේදක කේන්ද්‍රීය ලෙසටමත් තවත් අවස්ථාවක ග්‍රාහක
කේන්ද්‍රීය ලෙසටත් සිදුවෙනවා. මේකට තමයි අපි සරළව කියන්නේ සන්නිවේදනය ක්‍රියාවක්
හෝ ක්‍රියාවලියක් ලෙස සිදුවන්නක් බව.
දැන් සන්නිවේදනය යන්නට නැවතත් සරළ අර්ථකතනයක්
හදුනා ගත්තා වගේම අනෙක් පසින් අපි නැවතත් අපේ මාතෘකාවට එමු. සන්නිවේදනය ක්‍රියාවක්ද
? ක්‍රියාවලියක් ද ? කියන එක.
ඇත්තටම සාර්ථක සන්නිවේදනයකට අවශ්‍ය වන්නේ
සන්නිවේදනය ක්‍රියාවක් ලෙස පැවැතීමද ? නැතහොත් ක්‍රියාවලියක් ලෙස පැවැතීම ද?. මීට සරළ පිළිතුර වන්නේ නියත වශයෙන්ම
සාර්ථක සන්නිවේදනයක් උදෙසා සන්නිවේදනය ක්‍රියාවලියක් ස්වරූපයෙන් පැවැතිය යුතුය
යන්නයි. ක්‍රියාවක ප්‍රතිචාරයක්/ප්‍රතිපෝෂණයක් එහෙමත් නැතිනම් ඉංග්‍රීසි බසින් Feedback එකක් දැකිය නොහැකි අතර ක්‍රියාවලියක එය සාමාන්‍ය
දෙයක්.
නිදර්ශනයක් වශයෙන් ගුරුවරයෙකු පංති කාමරයක් තුළ තම ශිෂ්‍යයින්ට පාඩමක් උගන්වනවා යැයි සිතන්න. එක් අවස්ථාවක ගුරුවරයා තම පාඩම අළලා ශිෂ්‍යයින් හට පැනයක් යොමු කරන අතර නමුත්, ශිෂ්‍යයින් ඊට පිළිතුරක් ලබා නොදෙයි. එය ඒකපාර්ශ්වික ක්‍රියාවලියකි.
සන්නිවේදනය ක්‍රියාවක් වශයෙන්....
මෙතුළ සිදු වී ඇත්තේ අප කතා කරන සන්නිවේදනයේ ක්‍රියාවක
ස්වරූපයයි. එය මතු දැක්වෙන රූප සටහනට අනුව මනාව පැහැදිළි වෙයි. එහිදී සටහන්ව ඇති
ඊතළ එක් දිශාවකට අනුව ගමන් කරන බැවින් එය ක්‍රියාවක් ලෙස සරළව හදුන්වා දීමට
පුළුවන. මෙහිදී සිදු වන්නේ ගුරුවරයාගේ පැනයට ශිෂ්‍යයින් පිළිතුරු ලබා නොදීමයි.
මෙතුළ සිදු වී ඇත්තේ සන්නිවේදනයේ ක්‍රියාවලියක
ස්වරූපයයි. එය මතු දැක්වෙන රුප සටහනෙන් මනාව පැහැදිළි වෙයි. එහිදී සටහන්ව ඇති
ආකාරයට ඊතළ එක් දිශාවකට පමණක් නොව ඒවා ආපසු නැවතත් මුල් දිශාවට ගමන් කරන බැවින්
සරළව එය ක්‍රියාවලියක් ලෙස හදුන්වා දීමට පුළුවන. මෙහිදී සිදු වන්නේ ගුරුවරයාගේ
පැනයට අදාළව ශිෂ්‍යයින් විසින් පිළිතුරු ලබා දීමයි.
ගුරුවරයෙකු අසන පැනයකට පිළිතුරු සපයන සිසුන්, වෛද්‍යවරයෙකුගෙන් රෝගයක් පිළිබද ප්‍රශ්න අසන රෝගියෙකු, සම්මුඛ සාකච්ඡාවක, දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දක්වන පුද්ගලයෙකු යන අවස්ථා සතරේදීම ඉස්මතු කරවන පිළිතුරු/ ඇසීම/ ප්‍රතිචාර යන වචනවලින් ඉහත මතු තරන්නට යත්න දැරූ සන්නිවේදන ක්‍රියාවලියක ස්වාභාවය මැනවින් පෙනාවා දෙයි.
සන්නිවේදනය ක්‍රියාවලියක් වශයෙන් සිදුවිය යුතු වන්නේ, සන්නිවේදකයාට
·
ග්‍රාහකයා හදුනා ගැනීමට
·
තම පණිවිඩයේ නිරවද්‍යතාවය දැන ගැනීමට
·
තමාගේ කුසලතාවය හදුනා ගැනීම
·
තමා භාවිතා කළ මාධ්‍යයේ ගුණාත්මකබාවට හදුනා ගැනීම
වැනි කරුණු කාරණා රැසක් හේතුවෙනි. මෙම කාරණා නිසි පරිදි සිදුවන කළ සන්නිවේදන බාධක
රහිත සාර්ථක සන්නිවේදනයක් සිදුවනු ඇත. ඒ අනුව සාර්ථක සන්නිවේදනයකට අත්‍යවශ්‍ය
වන්නේ සන්නිවේදනයේ ක්‍රියාවලියක ස්වරූපය බව අවසන් වශයෙන් සනාථ කළ හැකිය.
හසිනි ධනංජලා
ජනසන්නිවේදනය (විශේෂ) උපාධි පාඨමාලාව
සිව්වන වසර
මානවශාස්ත්‍ර අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය


Comments
Post a Comment