විෂයානුකූල සන්නිවේදනය යනු ක්‍රමක්ද ? ( පළමුවන පාඩම ) - හැදින්වීම අංක 01

 

සන්නිවේදනය යනු කුමක්ද ?


වර්තමාන ලෝකයේ කවර කටයුත්තක් සදහා වුව සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. සන්නිවේදනය එකිනෙක පුද්ගලයන් අතර සබදතායන් ගොඩනංවා එය පවත්වා ගෙන යාමට උපකාරී වෙයි. එය තහවුරු කිරීමට හෝ දුරස්ථභාවයක් ඇති කිරීමට හෝ සබදතා බිද දැමීමට හෝ නැවත එය පිළිසකරතර දීමට හෝ උපකාරී වන්නේද සන්නිවේදනය යි. එබැවින් සන්නිවේදනය සමාජයේ පැවැත්මට බලපානු ලබන මූලික බලවේගය බවට පත්ව ඇත්තේ නිරායා‍සයෙනි.

සන්නිවේදනය යන වචනය බිදී ආ ඇත්තේ ලතින් භාෂාවේ යෙදෙන කොමියුනිස් ( Communis ) යන අරුතෙනි. එහි අර්ථය වන්නේ එකිනෙකා අතර වන අදහස් හුවමාරුවයි. ( 2006;62)

සන්නිවේදනයේ මූලික විද්වතෙකු වන විල්බර් ශාම් ( Wilbur Schramm) ප්‍රකාශ කර සිටින්නේ අදහස් හුවමාරු වන දෙපාර්ශවය අතර එක හා සමාන මානසික මට්ටම් ඇති වන්නේ සන්නිවේදනය හේතුවෙන් බවයි. එය කඨික හා ලිඛිත දෘශ්‍ය සංකේත හැසිරීම් ආදී වන සකළ විධි ක්‍රම මගින් හුවමාරු වන අතර ඒ ඔස්සේ දෙපාර්ශවය අතර ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් ඇති වේ. ( 2000;49)

චාර්ල්ස් හෝර්ටන් කුලී ( Charles Horton Colley) විද්වතාට අනුව මානව සම්බන්ධතා ඇති කිරීමටත් එය වර්ධනයටත් ඉවහල් වනු ලබන්නේ සන්නිවේදනයයි. පණිවිඩ සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රමය වන්නේ සන්නිවේදනයයි. ( 2006;174)

ජාත්‍යන්තර අධ්‍යාපන ශබ්ද කෝෂයට අනුව ( International Dictionary of Education) සන්නිවේදනය යනු, එකිනෙක මිනිසුන් අතර සිදුවන අදහස් හුවමාරුවයි. එය වාචිකව හෝ නිර්වාචිකව සිදුවිය හැකි අතර එකිනෙකිගේ දැනුම් මට්ටම පුරුදු අනුව එය වෙනස් විය හැක. ( 2009;109)

කී*ර් සහ කොච්රන් ( Kieffer and Cochran) යන විද්වතුන්ට අනුව සන්නිවේදනය යනු පණිවිඩ ලබා දීමක් හා ලබා ගැනීමකි. එය අන්තර් සබදතාවයකින් අවබෝධය උදෙසා යොදා ගැනෙන්නකි. ( 2000;11)

මෙම නිර්වචන සියල්ලේම අදහස් සළකා බලන විට ගැබ්ව ඇති පොදු ලක්ෂණ කිහිපයක් පහත ආකාරයෙන් හදුනාගත හැකිය.

·         මානව සන්නිවේදනය වූ කලී පුද්ලයෙකුගෙන් පුද්ගලයෙකු ‍අදහස් හැගීම් තොරතුරු මෙන්ම හැසිරීම් රටාවන්ද හුවමාරු කර ගැනීමයි.

·         පුද්ගලයන් තමන්ට රුචි තොරතුරු ලබා ගැනීම උදෙසා මූලිකව සන්නිවේදනය යොදා ගනී.

·         සන්න්වේදනය යනු බහුවිධ ක්‍රියාවලියකි.

එකිනෙකා අතර සන්නිවේදනයේ යෙදීමේදී අත්‍යවශ්‍ය පියවර කිහිපයක් ඇති බව සන්නිවේදන විද්වතුන් විසින් පෙන්වා දී ඇත.

·         අප කියනු ලබන කරුණු පිළිබද සිතිය යුතුය.

·         එය පැවසීමට සුදුසුම මාර්ගය සෙවිය යුතුය.

·         පණිවිඩය මානව සැළසුම් කළ යුතුය.

·         පණිවිඩය නිසි පරිදි ලබාගත් බවට තහවුරු කරගත යුතුය.

·         පෙරළා අනෙකා දක්වන කවර ප්‍රතිචාරයක් වුවද අවබෝධ කරගත යුතුය.

එමෙන්ම සන්නිවේදනයේ පවතින අංග ලක්ෂණ කිහිපයක් පිළිබදව අදහස් ඉදිරිපත්ව ඇත.

 

·         සන්නිවේදනය කාලීනව වෙනස් වේ.

·         සන්නිවේදනය එලෙසම නැවත පාවිච්චි කළ නොහැක.

·         සන්නිවේදනය සකස් වීම කෙරෙහි සංස්කෘතිය බලපායි.

·         සන්නිවේදනය යනු ආචාරධර්මයන්ගේ බලපෑමකි.

·         සන්නිවේදනය විවිධ මාධ්‍ය හා තාක්ෂණය ඔස්සේ සංසර්ණය වෙයි.

 

සන්නිවේදන ක්‍රියාවලිය

සන්නි‍වේදන ක්‍රියාවලිය සාර්ථකව සිදු වීමට අවශ්‍ය වන මූලිකාංග කිහිපයක් පවතින බව සන්නිවේදන විද්වතුන් විසින් ඉදිරිපත් කොට ඇත.

 

        සන්නිවේදකයා ( Source )

        පණිවිඩය ( Message )

        මාධ්‍ය ( Channel )

        ග්‍රාහකයා ( Reciever )

        ප්‍රතිචාර ( Feedback )

        සන්නිවේදක බාධක අවම වීම ( Reduce Communication Barriers Noise/Distoration )

 

සන්නිවේදකයා

 

සන්නිවේදකයා නැතිනම් සන්නිවේදන මූලය යනුවෙන් හදුන්වනු ලබන්නේ අදාළ පණිවිඩය ග්‍රාහකයාට ඉදිරිපත් කරන තැනැත්තායි. සන්නිවේකයාට එහිදී ප්‍රාථමික හෝ ද්විතීයික මූලාශයක් විය හැකි අතර ද්විතීයික මූලාශයේදී ඔහු එකී තොරතුරු වෙනත් ආකාරයකින් ලබාගෙන නැවත ඉදිරිපත් කරයි. වඩා සාර්ථක සන්නිවේදනයක් සදහා සන්නිවේදකයාට ග්‍රාහකයා පිළිබද මනා අවබෝධයක් තිබිය යුතුය.

 

·         ඔවුන්ගේ සමාජ සංස්කෘතික පසුබිම

·         ඔවුන්ගේ අවශ්‍යතා

·         ඔවුන්ගේ ගැටළු

·         ඔවුන්ගේ සීමා මායිම්

·         ඔවුන්ගේ දැනුම් මට්ටම පිළිබද අවබෝධය ලබා ගැනීම

 

 පණිවිඩය

සන්නිවේදකයා ඉදිරිපත් කරන පණිවිඩයේ වටිනාකම කරුණු හතක් ( Seven C’s ) මත රදා පවතින බව බිබේ සහ මාස්ටර්සන් ( Beebe and masterson ) පෙන්වා දෙයි.

අව්‍යාජ බව - Candidness

නිරවුල් බව - Clarity

ආචාරශීලී බව - Courstesy

සංක්ෂිප්ත බව - Conciseness

ස්ථීර බව - Concreteness

නිවැරදි බව - Correcteness

සම්පූර්ණ බව - Completeness

 

විවෘත මනසකින් යුතුව තම පණිවිඩයේ මූලික අරමුණු ආරක්ෂා කොටගත යුතුය. තමන් දන්න දෙයින් වඩා හොද තොරතුරක් ග්‍රාහකයාට ලබා දිය යුතු අතර එම මූලාශ පිළිබදව බවක් සන්නිවේදකයාට තිබිය යුතුය.

 

මාධ්‍යය

සන්නිවේදකයා විසින් ග්‍රාහකයා වෙත පණිවිඩය යැවෙන හෝ ලබා ගන්නා මාර්ගය වන්නේ මාධ්‍යයයි. සන්නිවේදකයා විසින් පණිවිඩය කිහිප ආකාරයකට ඉදිරිපත් කරයි. වාචික සන්නිවේදන ක්‍රම ඉන් ප්‍රධාන තැනක් ගනී. අන්තර් පුද්ගල සන්නිවේදනයේ වචන මාධ්‍ය කොටගෙන මෙලෙස එකිනෙකා අතර පණිවිඩ හුවමාරු  සන්නිවේදන මාධ්‍යයන් හදුන්වා දිය හැක. ශාරීරික අංග චලනයන්ගේ ලිඛිත සන්නිවේදන ක්‍රම උපායන් මගින්ද ( පෝස්ටර්, අත් පත්‍රික, ප්‍රස්ථාර, බිත්ති පුවත්පත්, ලිපි, පුවත්පත්, ග්‍රන්ථ ) තොරතුරු හුවමාරු කරයි. සන්නිවේදකයාට අදාළ පණිවිඩය ග්‍රාහකගත කිරීමට සුදුසුම මාධ්‍යයක් පිළිබද මනා අවබෝධයක් තිබිය යුතු අතර අදාළ අරමුණු ඉටුකර ගැනීම උදෙසා මාධ්‍යන් කිහිපයක් ද භාවිතා කළ හැක.

 

ග්‍රාහකයා

සන්නිවේදන විසින් යම් මාධ්‍යයක් ඔස්සේ ඉදිරිපත් කරනු ලබන පණිවිඩය ලබා ගනු ලබන්නේ ග්‍රාහකයා විසිනි. ග්‍රාහකයෝ විවිධ වන බැවින් ඔහුගේ අධ්‍යාපනය, ආර්ථික, සමාජ තත්ත්වය, සංස්කෘතිය, රැකියාව, හැගීම්, ආකල්පයන් පිළිබදව මනා අවබෝධයක් තිබිය යුතුය. පණිවිඩය ඉදිරිපත් කරන වි‍ශේෂිත ග්‍රාහක කොටසක් ( ඉලක්ක ග්‍රාහකයන් - Target Audience ) සිටීනම් ඔවුනට සරිලන පරිදි පණිවිඩය සකස් කළ යුතුය.

 

ප්‍රතිචාර

සන්නිවේදකයා විසින් ඉදිරිපත් කරනු ලබන පණිවිඩයට පෙරළා ලැබෙන ක්‍රියාව ප්‍රතිචාර ලෙස හදුන්වයි.

ග්‍රාහකයා අදාළ ප්‍රතිචාර වාචිකව මෙන්ම නිර්වාචිකවද ( හිස සැලීම, සිනහව, නිහඩ බව, මුහුණේ චලනයන් ) ලබා දෙයි. එමෙන්ම එය,

Ø     ධනාත්මක ප්‍රතිචාරය - Positive Feedback

Ø     සෘණාත්මක ප්‍රතිචාරය - Negative Feedback

ලෙස කොටස් දෙකකට වෙන් කළ හැක. එහි සරළ අර්ථය වන්නේ හොද හෝ නරක වශයෙනි.

 


අංජලා ඉසාරි සේනානායක

සිව්වන වසර

ජනසන්නිවේදන (විශේෂවේදී) උපාධි පාඨමාලාව

මානවශාස්ත්‍ර අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

 

Comments

Popular posts from this blog

නූතන මාධ්‍ය අවකාශය තුළ ළමයින්ගේ සමාජානුයෝජනය කෙසේද ?